එළවළු අපතේ යාම වලකා ගැනීම




    ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු දුර බැහැර ප්‍රදේශවල සිටින පාරිභෝගිකයන් අතට පත්වන විට ඒවායේ තත්ත්වය බොහෝ සෙයින් දුර්වල වීම අප රටේ බහුල වශයෙන් සිදුවන දෙයකි. එපමණක් නොව මෙසේ නිපදවන එළවළු වලින් 20% - 30% දක්වා ප්‍රමාණයක් අප‍තේ යයි.

    මෙලෙස අස්වනු නෙලූ අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරු සිදුවන හානි සියල්ල පසු අස්වනු නෙලූ අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරු සිදුවන හානි සියල්ල පසු අස්වනු හානි ලෙස හඳුන්වනු ලැබේ.

    මේ නිසා ගොවියා හට ඉතා අඩු මුදලකට තම නිෂ්නිෂ්පාදිතයන් අලෙවි කිරීමට සිදුවන අතර පාරිභෝගිකයා හට විශාල මිලක් ගෙවා අවශ්‍ය එළවළු මිල දී ගැනීමට සිදුවේ.

    විශාල වශයෙන් සිදුවන පසු අස්වනු හානියට ප්‍රධාන වශයෙන් හේතුවන සාධක කීපයකි. ජලය පිටවීම නිසා බර අඩුවීම, මේරීම, තැලීම් හා සීරීම් සිදුවීම, කුණුවීම යනාදිය මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත් මෙසේ පසු අස්වනු හානිය නිසා අපතේ යන ප්‍රමාණය කෙරෙහි පෙර අස්වනු සාධක ද බොහෝ විට බලපෑමක් ඇති කරයි.

    පෙර අස්වනු සාධක ලෙස හඳුන්වනු ලබන්නේ අස්වනු නෙළීමට පෙර ක්ෂේත්‍රයේ දී පැවැති තත්ත්වයන්ය. අක්‍රමවත් පොහොර භාවිතය. අඩු ජලසම්පාදනය, අධික ආර්ද්‍රතාවය සහ වෙනත් අයහපත් වගා පාලන ක්‍රම අස්වැන්නෙහි තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. පෙර අස්වනු සාධක මනා ලෙස පාලනයකර, උසස් පසු අස්වනු තාක්ෂතාක්ෂණ ක්‍රම අනුගමනය කිරීමෙන් අපතේ යන එළවළු ප්‍රමාණය බොහෝ දුරට අඩුකර ගත හැකි ය.

අස්වනු නෙළිය යුතු අවස්ථා

  • තක්කාලි අස්වනු නෙලීමට වඩාත් සුදුසු අවස්ථාව වන්නේ ගෙඩියෙහි රතු පැහැය අවම වශයෙන් 50% ක් වත් දක්නට ලැබෙන විටය. අස්වනු නෙළීමේ දී නටුව ගෙඩියට සවිවී තිබෙන පරිදි නෙළීම කළ යුතු ය. නටුව වෙන් වුවහොත් ඇතිවන තුවාලය නිසා එම ස්ථානයෙන් කුණුවීමට ඉඩ තිබේ. නටුව සමඟ නෙළූ තක්කාලි නොගැඹුරු ලී පෙට්ටි හෝ ප්ලාස්ටික් කූඩාවල ඇසීරීම කළ යුතු යි. නෙළා ගැනීමෙන් පසුව හැකිතාක් දුරට පරිහරණය කරන වාර ගණන අඩු කිරීමෙන් තක්කාලිවල පසු අස්වනු හානිය අඩුකර ගත හැකි ය.

  • මෑ, බෝංචි වැනි එළවළු බොහෝ විට නාස්ති වන්නේ මේරීම සිදුවන නිසාය. ළපටි අවස්ථාවේදී නෙළීමෙන් මේරීම සිදුවන වේගය අඩුකර ගත හැකිය. එබැවින් මෙම එළවළු වර්ග දෙක කරලේ දිග උපරිම මට්ටමට පත් වු වහාම අස්වනු නෙළීම සුදුසු ය. කරල පිරෙන තුරු සිටියහොත් ඉක්මණින් මේරීම සිදුවන බැවින් අපතේ යන ප්‍රමාණය වැඩිවේ.
  • ළපටිව නෙළාගත් විට, වැඩි කරල් ගණනක් සෑදෙන බැවින් ගොවියාට තම වගාවෙන් ලැබෙන මුළු අස්වැන්න වැඩිකර ගත හැකි ය.
  • බණ්ඩක්කා කරල්, උපරිම දිගට පැමිණීමට දින දෙකකට පමණ පෙර නෙළා ගැනීමෙන් මේරීම නිසා අපතේ යන ප්‍රමාණය අඩුකර ගත හැකිය. ළපටිව අස්වනු නෙළූ විට දින දෙකකට වරක් බැගින් අස්වනු නෙලිය හැකි අතර එවිට ඉඩමෙන් ලැබෙන් මුළු අස්වනු ප්‍රමාණය වැඩි වේ.
  • වැටකොළු, පතෝල, කරවිල යන එළවළු අස්වනු නෙළීමට වඩා සුදුසු වන්නේ එම ඵල (කරල්) උපරිම දිගට පත්වන අවස්ථාවේ දීය. ඵල පිරීමේ අවස්ථාව දක්වා නෙලීම පමා ක‍ළහොත් වැටකොළුවල මේරීම ද පතෝල, කරවිල වල ඉදීම ද ඉක්මන් වීම නිසා වෙළඳ අගය අඩුවීම සහ ආහාරයට නුසුදුසු තත්ත්වයට පත්වීම සිදුවේ. වැටකොළු සහ කරවිල ප්ලාස්ටික් බඳුන්වල ඇසිරිය හැකි අතර ප‍තෝලවල මැද කුහරයක් ඇති බැවින් තැලීම සිදුවුවහොත් පහසුවෙන් පිපිරීමට ඉඩ තිබේ. එබැවින් කුඩා ප්‍රමාණයේ මිටි වශයෙන් ඇසීරීම කළ හැකි ය.
  • වම්බටුවල ඵලයෙහි උපරිම දිගට පත් වූ විට එය නෙළීමට වඩාත් සුදුසු අවස්ථාව වේ. ඵල පිරීම දක්වා සිටිය හොත් මේරීම සිදුවන නිසා තත්ත්වය පහළ යයි. ළපටි අවස්ථාවේ අස්වනු නෙළූ විට දිගු කාලීනව ඉඩමෙන් ලැබෙන අස්වැන්න වැඩිවීම ගොවියාට වාඩා වාසිදායක වේ. මෙසේ නෙලන ලද ඵල ප්ලාස්ටික් අසුරනවල අසුරා ප්‍රවාහනය කළ හැකි ය.
  • සලාද සඳහා පිපිඤ්ඤා යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඉතා ළපටි අවස්ථාවේ දී අස්වැන්න නෙළා ගත යුතු ය. මේ සඳහා ඵලය සම්පූර්ණ වීමට පෙර නෙළා ගත යුතු ය. පිසීම සඳහා භාවිතා කරන්නේ නම් තරමක් මේරූ අවස්ථාව වඩා සුදුසු ය. කෙසේ වුව ද පිට පොත්ත දුඹුරු පැහැ ගැන්වීමට ප්‍රථම අස්වනු නෙළීම වැදගත් ය.
  • බීට්,නෝකෝල්, රාබු වැනි එළවළු නියමිත දින ගණනට පසු එනම්, නිසි පරිදි ‍මෝරා ඇති විට අස්වනු නෙළීමෙන් ගුණාත්මක බැවින් වැඩි සහ උසස් තත්ත්වයෙන් යුතු අස්වැන්නක් ලබාගත හැකි ය. මෙම එළවළු වර්ගයන්හි අස්වනු නෙළන විට ශාකවල පත්‍ර නොකැඩෙන පරිදි ගලවා ගත යුතු ය. මඩ ඉවත් කිරීම සඳහා 'අල' පමණක් ජලයෙන් සේදීම වඩාත් සුදුසු ය. පත්‍ර නොකැඩෙන පරිදි ඇසිරීම මඟින් මෙම එළවළුවල උසස් තත්ත්වය දින කීපයක් ආරක්ෂා කරගත හැකි ය.
  • ගෝවාවල ගෙඩිය හොඳින් වැඩී ඇතිවිට අස්වැන්න නෙළීම කළ යුතු ය. වටේට පිහිටි පත්‍ර කීපයක් සමඟ ප්‍රවාහනය කිරීමෙන් ගෙඩියට සිදුවන යාන්ත්‍රික හානි බොහෝ දුරට අඩුකර  ගත හැකි ය.
  • ලීක්ස් ශාකය හොඳින් වර්ධනය වූ විට පත්‍ර නොකැඩෙන පරිදි ගලවා මුල් කොටස පමණක් ජලයෙන් සෝදා මඩ ඉවත්කළ හැකිය. තදකර මිටි බැඳීම නොකළ යුතු ය.
  • මාළු මිරිස් කරල වර්ධනය වූ විට අස්වැන්න නෙළිය යුතු ය. මේරීම වැඩි වූ විට ඉක්මණින් ඉදෙන බැවින් නියමිත අවස්ථාවේ දී අස්වැන්න නෙළීම වැදගත් ය.
  • මුකුණුවැන්න, කංකුං, ගොටුකොළ වැනි කොළ එළවළු මේරීමට ප්‍රථම අස්වැන්න නෙළිය යුතු ය. නෙළූ කොළ ක්ෂේත්‍රයේදීම මිටි බැඳ තෙතමනය ඉවත්නොවන සේ තැබිය යුතු ය.

 

නෙළන අවස්ථාවේ දී සැළකිලිමත් වීම

    සෑම එළවළුවක්ම උදයේ පිණි හිඳුණු පසු අස්වනු නෙළීම වඩාත්ම උචිතය. කොළ එළවළු ක්ෂේත්‍රයේ දී තරමක් 'හේබාන' තෙක් සිට නෙළූවහොත් ඇසිරීමේ දී සහ ප්‍රවාහණයේ දී ඇතිවන හානිය අඩුකර ගත හැකිය. කිසිම අවස්ථාවක දී නෙළන ලද එළවළු, ක්ෂේත්‍රයේ පස් සමඟ ‍ගැටීමට සැළැස්වීම සුදුසු නැත. පස් තැවරුණු විට ඒ සමඟ නොයෙකුත් දිලීර හා බැක්ටීරියා රෝගකාරක ජීවීන් ඇතුළුවීමට පුළුවන.

    අස්වනු නෙළීමේ දී රළු ලෙස එළවළු පරිහරණය නොකරන්න. හැකි ඉක්මනින් නෙළන ලද එළවළු සෙවණ සහිත ස්ථානයකට රැගෙන යන්න.

 


ශ්‍රේණි කිරීම

    තේරීම සහ වර්ග කිරීම ක්ෂේත්‍රයේ දී අනිවාර්යෙන්ම කළ යුතු ය. පළමුවැනි සහ දෙවැනි පන්තිය වශයෙන් මතුපිට පෙනුම අනුව වර්ග කළ හැකි ය. වර්ගකර විකීණිමෙන් වැඩිපුර ආදායමක් ලබාගත හැකිවනවා මෙන් ම, ප්‍රවාහන හානි සහ ලෙස රෝග නිසා සිදුවන හානි ද අවම කරගත හැකි ය.

ඇසීරීම

    සෑම එළවළුවක්ම සිදුරු සහිත ප්ලාස්ටික් කූඩාවල හෝ ලෑලිවලින් තනන ලද පෙට්ටිවල හෝ අසුරන්න. එමඟින් එළවළුවල තත්ත්වය ආරක්ෂා කරගත හැකි ය. ඇසිරීමේ දී රළු ලෙස එළවළු පරිහරණය නොකළ යුතු අතර, අනවශ්‍ය ලෙස තදකර භාජනයක ඇසිරීම නොකළ යුතු යි. ප්ලාස්ටික් බඳුන් නිතර පිරිසිදු කළ  යුතු අතර, ඇසුරුම් කිසි විටෙකත් අව්වට හෝ වැස්සට නිරාවරණය නොකළ යුතු ය.

ඉදෙන පළතුරු සමඟ තැබීම

    එළවළු වලට එතිලීන් වායුවේ බලපෑම ඉතාමත්ම අහිතකර වේ. ඉදෙන තක්කාලි, කෙසෙල්, අඹ, අලිපේර වලින් මෙම වායුව පිටවේ. තාවකාලික ගබඩා ස්ථානයක හෝ මෙම පළතුරු, එළවළු සමඟ තැබීමෙන් පළතුරුවලින් පිටවන එතිලීන් වායුවට එළවළු නිරාවරණය වේ. එසේවුවහොත් මේරීම ඉක්මන්වීම, කොළ කහ පැහැ වීම, ඉදීම සහ එළවළු විනාශවී යෑමට ද ඉහළ ප්‍රවණතාවයක් ඇත. එබැවින් ප්‍රවාහනයේදී පවා එළවළු පළතුරු සමඟ මිශ්‍ර කොට ප්‍රවාහනය කිරීමෙන් වැළකීම වඩාත් උචිතය.

යාන්ත්‍රික හානි

    නිවැරදි මේරීමේ අවස්ථාවේදී ප්‍රවේශමෙන් යුතුව නිසි තත්ත්ව පාලනයක් යටතේ අස්වැන්න නෙළන ලද එළවළු වර්ග සඳහා ලෙඩ රෝග වැළඳීමේ හැකියාව ඉතා අඩුය. කෙසේ වෙතත් අස්වනු නෙළීමේ දී ඇසීරීමේදී සහ ප්‍රවාහනයේදී සිදුවන තැලීම්, සීර්ම් වැනි යාන්ත්‍රික හානි නිසා ලෙඩ රෝග වැළඳීම සිදුවේ. එනිසා ලෙඩ රෝග මර්දනය සඳහා අනිවාර්යෙන්ම යාන්ත්‍රික හානි සිදුවීම වැළැක්විය යුතු ය.

    එළවළු ප්‍රවාහනය කිරීමේ දී ප්‍රවේශමෙන් ඇසිරීම කළ යුතු ය. රාත්‍රී කාලයේ දී හෝ උදය කාලයේ දී ප්‍රවාහනය කිරීමෙන් අධික ලෙස උෂ්ණත්වය ඉහළයෑම වළක්වා ගත හැකි ය. තව ද ප්‍රවාහනයේදී අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරගත යුතු ය. වාහනය සුමුට ලෙස පැදවීමෙන් ප්‍රවාහනයේදී ඇතිවන හානි අඩුකර ගත හැකි ය. එසේම බෑම ද ප්‍රවේශමෙන් කළ යුතු ය.

    අප රටෙහි එළවළු නිෂ්පාදනය අවුරුද්ද මුළුල්ලේම සිදුවන බැවින් ශීත කාමරවල දිගු කලක් ගබඩා කර තබා ගැනීම අනවශ්‍යය. බොහොමයක් එළවළු සති 2 ක් හෝ 3කට වැඩි කාලයක් ගබඩා කර තබාගත හැකි ය. එසේ ගබඩා කලද දැරීමට සිදුවන අමතර වියදම නිසා ආර්ථික වාසිදායක තත්ත්වයක් ගෙන දේ. වඩාත්ම සුදුසු විකල්පය වන්නේ අවා‍රයේ නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීමයි.